Home » Guest Column

ලිංගිකත්වය – අපි කොතැනද?

23 May 2016 Posted by No Comment

Rainbow Flag Next to The UN Flag - Sri Lanka 2016

භූමි හෙර්න්ද්‍රන් විසිනි.

මැයි මස 17 වන දිනට දී තිබුණු ජ්‍යාත්‍යන්තර සමසෙනෙහස් භීතිකාව හා සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහි දිනය මුල්කරගෙන මෙම ලිපිය ලිවීමට සිතුවෙමි. සමසෙනෙහස් ප්‍රජාව හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට සිදුවන හිංසනයන් හා වෙනස්කොට සැලකීම් නිසා ලොව පුරා  ඇති වූ විවිධ කතිකාවන්ගේ ප්‍රතිපලයක් වශයෙන් මෙම දිනය නම් කර ඇත. සෑම වසරකම  මේ වෙනුවෙන් ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද යම් යම් වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර මෙවර ලොව සමානාත්මතාවය හා වෙනස්කොට සැලකීමට එරෙහිව කටයුතු කරන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ  ඉතිහාසයේ ප්‍රථම වතාවට සමසෙනෙහස් ධජයක් එසවීම විශේෂ අංගයක් ලෙස දැකිය හැකි විය.

සංස්කෘතිය, සදාචාරය යන අදහස් කරපින්නා සිටින අප සමාජ ක්‍රමයට, සැකැස්මට අනුව සමසෙනෙහස්භාවය මානසික රෝගයකි, මානසික විකුර්තියකි. සංක්‍රාන්ති ලිංගිකත්වය ඔවුන් විසින් විහින් සිදු කරගන්නා පාපකර්මයකි. මෙහි හාස්‍යමය කරුණ වන්නේ මෙවැනි සදාචාරාත්මක සිතුවිලි සංස්කෘතිය රැකගැනීමේ කැක්කුම පැන නගින්නේ මෙවැනි පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කතා කිරීමේදී පමණකි.  අනෙකුත් සියළුම දූෂණ වංචා  සැමවිටම අප  පවසන සදාචාරයේ තිර රෙද්දට මුවා වෙලා සිදුවන බැවින් කිසිවෙකුත් එය නොදකී. දුටුවද එයට විරුද්ධව කතා නොකරයි. මන්ද එම සියලු දූෂණ වංචා සඳහා සදාචාරයේ රැකවරණය ලැබෙන නිසාවෙනි. පාසල් අධ්‍යාපනය තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පාඩම ගෙදර ගොස් කියවාගෙන වාර විභාගය සඳහා පිළිතුරු ලිවීමට පවසන ගුරුවරුන් සිටින මෙවන් සමාජයක මිනිසුන් මෙවැනි දුර්මත දැරීමද එක අතකට  අරුමයක්ද නොවේ. නිසි අධ්‍යාපන ක්‍රමයක් තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව නිවැරදි මගපෙන්වීමක් හෝ ඉගැන්වීමක් නොමැති කළ අප අනාගත පරම්පරාවද මෙවැනි දුර්මත කරපිනාගෙන ඉදිරියට යාමේ ව්‍යසනය කෙසේවත් වලකාලිය නොහැකි වනු ඇත.

මෙහි වන තවත් සෝචනීය කරුණ වන්නේ සමසෙනෙහස්භාවය සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳව යතාර්ථය, එය රෝගයක් නොවන බව දන්නා විද්වත් වෛද්‍යවරුන් පවා මෙය සංකෘතික හා සදාචාරාත්මක  කෝපි කාලේ ආකල්ප මත ඉතාමත් පහත් අයුරින් හෙලා  දැකීමයි.  මෙවැනි තත්ත්වයක් මත ශ්‍රී  ලංකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ධජයක් ඔසවා කේක් ගෙඩියක් කැපීමට වඩා යමක් කිරීමට තිබිය යුතුව තිබුනා යයි මම සිතමි.

මාධ්‍යය යනු සමාජයේ විශාල භාරධූර කටයුත්තක නියලෙන්නෙකි. ඕනෑම දෙයක් පිළිබඳව ධනාත්මක හෝ ඍණාත්මක චිත්තරූපයක් මැවීමේහිලා මාධ්‍ය හට ඇත්තේ අසීමිත බලයකි. කිසිවෙකුත් එතුළින් මේ ලිංගිකත්වය පිළිබඳව නො එසේත්නම් ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳව විවෘත කතිකාවතක් හෝ ඔවුන් දැනුවත් කිරීමක් පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් පිළිබඳව සිතන්නේද නැත. බොහෝ විට එවැනි කතිකාවතක් තුලින් සමාජ සම්මතය අභියෝගයට ලක්කොට තමන්ට අනවශ්‍ය අවධානමකට මුහුණදීමට සිදුවේයැයි බියෙන් නොකරනවා වෙන්නද පිළිවන. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ හැකියාවන් හා බලතල උපයෝගී කරගනිමින් ඔවුන්ට මාධ්‍ය සාකච්චාවක් හෝ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වූ වා නම් මීට වඩා යෝග්‍යයයි මට හැගේ.  මන්ද එමගින් මාධ්‍ය කරුවන් දෙදෙනකු හෝ සංවේදී වන්නට දැනුවත් වන්නට ඉඩ ප්‍රස්තාවක් ඇත. එපමණක් නොව එම පැහැදීම මත  ඔවුන් මේ පිළිබඳව සමාජය තුළ යහපත් කතිකාවතක් ගොඩ නැගීමට සුළු හෝ උත්සහයක් ගන්නවා නොඅනුමානයි. මන්ද පෙර වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව පුවත්පත් කිහිපයක් සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳව ඉතාමත්  ධනාත්මක ලිපි පලකිරීමට ඉදිරිපත් විය. ඔවුන් එමගින් ඔවුන්ගේ ජීවිත වලට යමක් ලබාගත්තා යයි මට සිතුනේ ඔවුන්ගෙන් ලැබුණු අවංක යහපත් ප්‍රතිචාර මතය. එපමණක් නොව කිසිදිනක කිසිදු වෛද්‍යවරයෙකු මාධ්‍ය හට සමසෙනෙහස්භාවය හෝ සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳව වන විද්‍යාත්මක පදනම හෙලිදරව්කොට නැත. එම නිසා සමහර මාධ්‍ය වලින් පවා මේ පිළිබඳව කතා කරන්නේ මානසික රෝගයක් ලෙසිනි.  එබැවින් වගකීමක් ලෙස ගත්කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඒ හා කටයුතු කරන පුදලයන්ද, සමසේනේහස් ප්‍රජාව හා සංක්‍රාන්ති ලින්ගික පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීම සදහා විදෙස් සංවිධාන වලින් ආධාර ලබාගන්නා පුද්ගලයන්ගේද විශාල වගකීමක් ලෙස මම දකිමි.

එලෙසම එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් පිළිබද හවුල මගින් එදිනම එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේ පැවති වට මේස සාකච්ඡාව පිළිබඳවද මා යමක් පැවසිය යුතුමය.  එම සාකච්ඡාව සංක්‍රාන්ති ලින්ගික ප්‍රජාවගේ හා සමසේනේහස් ප්‍රජාවගේ මානසික පීඩනය පාදක කොට ගෙන කරගෙන ගිය ලද කතිකවතකි. එයට ජාතික රෝහලේ මානසික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ මහතාද එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් පිළිබද හවුලෙහි ප්‍රධානි වෛද්‍ය දයානාත් රණතුංග මහතාද   එක් විය.  ඉතාමත් වැදගත් මාතෘකාවක් ඔස්සේ ගලාගිය මෙම කතිකාවත සඳහා සහභාගී වුයේ අප සැමදා දකින සංවිධාන නියෝජනය කරන මුහුණු හා තරුණ වැඩසටහනකට සහභාගී වූ තරුණ මුහුණු කිහිපයක් පමණි.  එම සාකච්ඡාව කෙතරම් උණුසුම් කරුණු ඉදිරිපත් කෙරුණු එකක් වුවත් ඉන් ප්‍රතිපලය කුමක්ද යන්න මට නැගුනු පැනයයි. මන්ද එම සාකච්චාවට සහභාගේ වූ සියලුදෙනා මෙම තත්ත්වය පිළිබඳව දැනුවත් පිරිසකි. නමුත් මෙම කතිකාවත යා  යුත්තේ මේ පිළිබඳව නොදන්නා පිරිසකට නොවේද යන්න මට වරෙක හැඟුනි.  මන්ද එම සාකච්ඡාවේදී ඉතා වැදගත් කරුණු පිළිබඳව කතා කෙරුණු බැවින්. විශේෂයෙන්ම සමසෙනෙහස්භාවය හා සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳව වෛද්‍යමය පසුබිම විශාල වශයෙන් කතා කෙරුණු බැවිනි.  ලිංගිකත්වය පිළීබද විද්‍යාත්මක පසුබිම ඇතුළත් ප්‍රකාශණයක්ද එදින එළි දක්වා  තිබුණි. http://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=19956&LangID=E

ශ්‍රී ලංකාව තුළ සැමදාමත් ලිංගිකත්වය, ලිංගික නැමියාවන් ලිංගික අනන්‍යතාවයන් පිළිබඳව කතිකා කෙරුණු කාමර තුළ වට මේස සාකච්ඡාවන් අකාරයටය. සැමදාමත් සාකච්ඡාවන වලින් ඒවා අවසන් වුන මිසක ඉන් එහාට කිසිඳු පියවරක් ගැනුනේ නැත. එවැනි කතිකාවතක් ගොඩ නැගීමේ පරිසරයක් ගොඩනැගී තිබුනද ඒ පිළිබඳව උනන්දුවක් ආධාර ලබන ආයතනවත් වගකිවයුතු නිලධාරීන්වත් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් අවධානය යොමු නොකිරීම පිළිබඳව කණගාටු වෙමි. ඔවුන් දෙන ලද මුදලට මෙවැනි වැඩසටහනක් කළාය යන සංකල්පය මත බොහෝ සාකච්ඡා ද සිදුවන අතර  ඉතිහාසයේ ප්‍රථම වතාවට සමසෙනෙහස් ධජය හෝ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළ එසවීම කිසියම් පියවරක මුලපිරීමක් වශයෙන් සතුටුවිය හැක. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මූලස්ථාන ප්‍රධාන සම්බන්ධීකාරකවරිය වන ඌනා මැකෝලි මහත්මියට මගේ ස්තූතිය පළකර සිටීමටද කැමැත්තෙමි.

සංස්කෘතිය හා සදාචාරය පිළිබඳව කතා කිරීමේදී මා පසුගිය දිනෙක මුහුණ පා පෞද්ගලික අත්දැකීමක් බෙදාහදාගැනීමට කැමැත්තෙමි.  පසුගිය 18 වන දින ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන වැඩසටහන මගින් ගෝලීය අරමුදල ව්‍යාපෘතියට අදාලව එච්.අයි. වී./ ඒඩ්ස්  මර්දන ව්‍යාපෘතිය යටතේ උතුරු නැගෙනහිර පොලිස් මූලස්ථාන නිලධාරින් දැනුවත් කිරීම හා ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට තුන් දින වැඩමුළුවක් පැවැත් වූ අතර සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් නීතිය ඉදිරියේ මුහුණ පාන වෙනස්කොට සැලකීම් හා හිංසනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට සම්පත් දායිකාවක් ලෙස  මට ආරාධනා කෙරුණි. එහිදී සංක්‍රාන්ති ලිංගිකත්වය හා සමලිංගිකත්වය සදාචාරත්වයට පටහැනි, ස්වභාවයෙන් ලැබුණු දේ වෙනස් කරගැනීම වැරදි යයි පවසන  ලද එක පොලිස් නිලධාරියෙකු මාගෙන් අසන ලද ප්‍රශ්නයකට අවංකව මා කෝපයට පත් වුයේ ඔහුගේ සදාචාරය කොහේදැයි සැක කරමිනි. ඔහු මගෙන් ප්‍රසිද්දියේ ලිංගික සංක්‍රාන්තියකට මුහුණ පෑ සංක්‍රාන්ති ලිංගික කාන්තවක් වශයෙන් මා මාගේ සහකරුවා සමඟ ලිංගිකව හැසිරෙන්නේ යෝනිමාර්ගයෙන්ද අධෝමුඛයෙන්ද යන්න නගන ලද ප්‍රශ්නයයි. ලිංගික චර්යාවන් හා ලිංගිකත්වය අතිශය පෞද්ගලික කාරනාවක් බව ඕනෑම සමාජ ස්තරයක සිටින උගත් නූගත් සියලුම දෙන දන්නා කරුණකි. එලෙසම කාන්තාවකගෙන් ප්‍රසිද්දියේ තම සහකරු සමග පවත්නා ලිංගික සම්බන්ධතාවය පිළිබඳව ප්‍රශ්න කිරීම කෙතරම් දුරට සදාචාර සම්පන්නදැයි මෙම ලිපිය කියවන්නාවූ ඔබටද හැඟෙනු ඇත. එලෙසම ඔහු රජයේ පොලිස් නිලධාරියෙකු වූ පමණින් හා මා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වූ පමණින් ඕනෑම දෙයක් මාගෙන්  කිසිඳු සභ්‍යත්වයකින්  තොරව ප්‍රශ්න කිරීමට තරම් ඔහුගේ මානසිකත්වය පිළිබඳවද අප සිත බැලිය යුතු වේ. මෙවැනි පුද්ගලයන් වෙත සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් හෝ සමසෙනෙහස් පුද්ගලයෙකු මුණගැසුනහොත් ඔවුන්ගේ තත්ත්වය කුමක් වේද යන්න මා හට ඇත්තේ විශාල බියකි.   මෙවැනි  මානසික තත්වයකින් පසුවන්නන් ඉහල නිලතල දරන්නාවූ මෙවැනි සමාජයක ලිංගිකත්වය හා ලිංගික අනන්‍යතාවය පිළිබඳව පැහැදිලි නියමාකාර විද්‍යාත්මක පදනම පහදමින් සමාජ කතිකාවතක් ආරම්භ කළ යුතුය.

ශ්‍රී ලංකාව වැනි සමාජයක පාසලෙන්, පවුලෙන්, රැකියා ස්ථානවලින්, සමාජසේවා ආයතන තුලින් වැනි සෑම අංශයකින්ම සෑම තැනකින්ම මෙම කතිකාවත් ඇරඹිය යුතුමය. මන්ද එසේ නොවුන හොත් ලින්කත්වය පිළිබඳව පවතින කුහකත්වය නිසා අප රටෙහි අහිංසක තවත් පුද්ගල කොටසක් හිංසාවෙන් පීඩාවෙන් ජීවත් වීමට සිදුවන අතර අප රටට හැකියාවන්ගෙන් දක්ෂය්තාවයෙන් පිරිපුන් බොහෝ පිරිසක් අපරටට අහිමි වනු ඇත. එය සංවර්ධනය වන රටක් වශයෙන් අපට විශාල පාඩුවකි. රටක් වශයෙන් යාන වාහන, ගොඩනැගිලි අනර්ඝ ගෘහනිර්මාණ වලින් පමණක් නොව රටක් වශයෙන් අප ගුණධර්ම හා මනුධර්මයෙන්ද විශාල වශයෙන්  සංවර්ධනය විය යුතුය.

 

Leave your response!

Add your comment below, or trackback from your own site. You can also subscribe to these comments via RSS.

Be nice. Keep it clean. Stay on topic. No spam.

You can use these tags:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This is a Gravatar-enabled weblog. To get your own globally-recognized-avatar, please register at Gravatar.

*