Home » Guest Column

වලාකුළෙන් පසු විපරමක්

27 January 2016 Posted by No Comment

sex-education

භූමි හරේන්ද්‍රන්

ඡායාරූප ගැනීම් මිනිසාගේ විශේෂ වූ මතකයන් සටහන් කරගැනීම සඳහා යොදාගත් ක්‍රමයකි. එමගින් ඔවුන් තමන්ගේ සුන්දර වූ අවස්තාවන් රූපමය වශයෙන් ලබාගෙන ඒවා නරඹා ස්මරණය කිරීමට අතීතයේ සිටම පුරුදුව සිටියහ. වත්මන් සමාජයේ හා තාක්ෂණික දියුණුවත් සමග ඡායාරූප ගැනීමේ පහසුකම් ජංගම දුරකථන සඳහා  ලැබුණු අතර පසු කලෙක තමන්ගේ ඡායාරූපයක් තමන් විසින්ම ගත හැකි ලෙස විවිධ ක්‍රම හදුන්වා දීය. තම මිතුරන් හා හිතවතුන් හෝ පෙම්වතා/ පෙම්වතියත් සමඟ කිසිම අපහසුතාවයකින් තොරව රිසි පරිදි ඡායාරූපයක් ගැනීමට ඉන් පහසුවිය. එමගින් තමන් ලබාගන්නා පින්තූරයන් මුහුනුපොත නොහොත් ෆේස්බුක් හි පලකිරීමට හෝ විවිධ අන්තර්ජාල ක්‍රම හරහා මිතුරන් හෝ හිතවතුන් සමග මතකයන් ලෙසින් බෙදාහදාගැනීමට අප පරපුර හුරු පුරුදු විය.

මෙම තාක්ෂණයේ දියුණුව සමඟ මිනිසාගේ දියුණුව වගේම  පරිහානියද සිදුවෙමින් මිනිස් ජීවිත වල වටිනාකම පහල වැටෙන අයුරුද මිනිස් ජීවිත විනාශයට ඇදවැටෙන අයුරුද  අද අප හට අහන්න දකින්න ලැබෙන කරුණකි. මෙය තාක්ෂණයේ දියුනුවට දොස් පැවරීමද මිනිසුන්ගේ පහත් ආකල්පද යන්න විවාදාත්මක පටලැවිල්ලකි. තම පෙම්වතියගේ ඡායාරූප ඇය ලවාම තමන් වෙත ගෙන්වාගෙන ඒවා මිතුරන් අතර පෙන්වමින් හා අන්තර්ජාල වෙබ් අඩවි සඳහා මුදා හරිමින් එම තරුණියන්ගේ ජීවිතේ ඉතාමත් දුෂ්කර හා කටුක තත්ත්වයකට ඇද දමන තත්ත්වයක් අද අපට දක්නට හා අහන්නට ලැබෙයි. ආදරය හා සෙනෙහස යන කරුණු ඇපේට තබමින් තමන් විශ්වාස කරන්නයි පවසමින් චාටු බස් යොදාගනිමින් තම පෙම්වතියන් මානසිකව හිංසනයට හා බලපෑම් වලට ලක්කරමින් මෙම ඡායාරූප හා වීඩියෝ පට ගෙන්වා ගෙන  ඇතැම් තරුණයන් මෙම වීඩියෝපට විවිධ අසභ්‍ය  වෙබ් අඩවි සඳහා අලෙවිකොට මුදල්ද උපයනු ලබයි. මේ හේතුන් මත තරුණියන්ගේ ජීවිත විශාල වශයෙන් විනාශ වන අතර ඒ හරහා තරුණියන්ගේ පවුල් වලටද විශාල වශයෙන් සමාජමය බලපෑම් ඇති වී ඇත. දෙමවුපියන් හා එම තරුණියන් සියදිවි නසාගත් අවස්ථාද බොහොමයකි. මේ පිළිබඳව නීතිමය පිළිසරණක් පැතිය නොහැක්කේ අවසානයේ නීතියෙන්ද වරදකරු යන නාමය එම තරුණියන් මතම පටවන නිසාවෙනි.

මෙවර 2016 ගාලු සාහිත්‍ය උත්සවය (Galle Literary Festival 2016) සඳහා ග්‍රාස්රූටඩ් ( Grassrooted) සංවිධානය විසින් නවක හා ප්‍රවීන් නළු නිළියන්ගේ දායකත්වයද ඇතිව කෙටි නාට්‍ය කොටස් කිහිපයක් මේ ගැටලුව සම්බන්ධව ඉදිරිපත් කරන ලදී. මහනුවර රැජින හෝටලයේ හා ගාල්ල ගාලු කොටුව ස්ථානයන් යන ද්විත්වයේදී  පවත්වන ලද  2016 ගාලු සාහිත්‍ය උත්සවයට සමගාමීව එම නාට්‍ය ඉදිරිපත් කරන ලදී. විවිධ කෙටි නාමයන් රැගත් සැබෑ සිද්ධීන් මෙම කතා සඳහා පාදක වී තිබුණි. ත්‍රෛ භාෂික ඉදිරපත් කිරීමක් වූ මෙම නාට්‍ය පෙළ සමාජයීය, දේශපාලනික හා පෞද්ගලික යන රාමු තුනෙන්ම මෙම ඡායාරූප හා වීඩියෝපට හුවමාරු කොට සිදුවූ අකරතැබ්බයන් පිළිබඳව කතාබහට ලක්කෙරුණි. දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත වූ වේදිකාගරයන් දෙකක ඉදිරිපත් කෙරුණු මෙම කෙටිනාට්‍ය එකතුව “V day වලාකුලෙන්” නම් විය. මෙහි වූ විශේෂත්වය වන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට සෑම දෙබස් ඛණ්ඩයක්ම සාමාන්‍ය ජීවිතයේ අපි එදිනෙදා භාවිත වන ආකාරයේ දෙබස් විය.  එපමණක් නොව විදේශීය ප්‍රේක්ෂකයන්ගේ පහසුව සඳහා දෙමල බසින් හා සිංහල බසින් භාවිත වුනු දෙබස් ඛණ්ඩයන් සඳහා ඉංග්‍රීසි  බසින් ප්‍රක්ෂේපන යන්ත්‍රයක් අදාරයෙන් උපශීර්ෂ සපයන ලදී. එනිසාවෙන් මුළු නාට්‍ය මාලාවම එකලෙස රසවිදීමට සියලු දෙනාටම එක හා සමානවම හැකියාව ලැබිණි. මුලි මහත් සමාජයක් දන්නා වුද නමුත් පියවර ගතයුත්තන් කතා බහ නොකරන්න වුද මාතෘකාවක් පිළිබඳව මෙම ඉදිරපත් කිරීම් සිදු වූ නිසා ප්‍රේක්ෂකයාගේ අවධානය ආරම්භයේ සිට අවසානය දක්වා රඳවා තබා ගැනීමට නළු නිලියන් සමත් විය.

මෙම මාතෘකාව ඉස්මතුවීම පිළිබඳව මා පෞද්ගලිකව සන්තෝෂ වන්නෙමි. මන්ද මෙම ගැටලුව උපතින්ම කාන්තාවන් හෝ ගැහැණු ළමයින්ට පමණක් නොව හුදෙක් සංක්‍රාන්ති සමජභාවී කාන්තාවන්ටද බලපානු ලබන ගැටලුවකි. ඔවුන්ගෙන් තරුණයන් රවටා ගනු ලබන මෙවැනි පින්තූර හෝ වීඩියෝ පට යොදා ගනිමින් ඔවුන් හට තර්ජයන කොට මුදල් ලබාගන්නා තත්ත්වයක්ද වත්මන් සමාජය තුල පවතී. සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වශයෙන් මා මෙම නාට්‍ය පෙළ සඳහා මාගේ දායකත්වය රංගනයෙන් ලබාදීම පිළිබඳව සතුටුවන්නේ එම නිසාවෙනි. කාන්තාවන් හට සිදුවන මෙවැනි හිංසනයන් කතිකා කෙරුනද කෙදිනකවත් කොතනකවත් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට සිදුවන මෙවැනි හිංසනයන් කතා බහට ලක්වන්නේ නැත. කනගාටුදායක යතාර්ථය එයයි. මෙම තත්ත්වය මත කාන්තාවටද පිළිසරණක් නොමැති තැන සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට කිනම් සරණක්ද?

ස්ත්‍රී දුෂණයන් සිදුවන්නේ කාන්තාවන්ගේම වරදින් බව පවසන මෙවන් සමාජයක,  ආදර සම්බන්ධ  තාවය හෝ බැඳීම් පවත්වාගැනීමට හෝ රැකගැනීමට තමන්ගෙන් මානසිකව බලකර ගෙන්වාගන්නා මෙවැනි වීඩියෝපට හෝ ඡායාරූප පිළිබඳවද අවසානයේ වරදකාරියන් වන්නේද කාන්තාවන්මය. කෙදිනකවත් කාන්තාවන් හට මානසිකව බලපෑම් කොට මේවා තමන් වෙත ගෙන්වා ගන්න පිරිමින් වරදකරුවන් වශයෙන් හංවඩු ගැසෙන්නේ නැත.  අවසානයේ එය කාන්තාවගේ සංවරත්වය පිළිබඳව ගැටළුවක් බවට පත්වේ. එම කාන්තාවගේ චරිතය පිළිබඳව ගැටළුවක් බවට පත්වේ. ගෙන්වාගෙන ඡායාරූප බෙදාහරින පුද්ගලයා සැපසේ නිදොස් ලෙස ජීවත් වන අතර එවන ලද කාන්තාව හා  සංක්‍රාන්තික කාන්තාව තම දිවියෙන් දඩුවම් විදිමින් ජීවත් වෙයි. මේ ගැටළු සම්බන්දව අප කතා කල යුතුය.. සමාජය දැනුවත් කල යුතුය. ජීවිත වල වටිනාකමත් අප සමාජයට කියා දිය යුතුය. අප ආරම්භ කල යුතුය. නමුත් කොතනින්ද? අප ළමා කාලයේ සිටම නොවේද? කුඩා කාලයේ සිටම අප දරුවන්ට මේ සම්බන්ධව දැනුවත් භාවයක් ලබාදෙන්නේ නම් ජීවිත වල වටිනාකම් පිළිබඳව ගරු කිරීම හා  සමානාත්මතාවය පිළිබඳව කියා දෙන්නේ නම්, වැඩිහිටියෙක් ලෙස, තරුණයෙක් ලෙස සමාජයට පිවිසෙන් ඔහු කෙදිනකවත් මෙවැනි පහත් ක්‍රියාවන්ට නොපෙළඹෙනු ඇත. වැඩිහිටියෙක්, තරුණියක් ලෙස සමාජයට පිවිසෙන ඇය මෙවැනි සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ නොපානු ඇත. තම ජීවිතය  අවධානමකට ලක් නොකරගනු ඇත.  සමාජයේ මෙලෙස ගැටළු වලට මුහුණ පාන කාන්තාවන් විවේචනයට ලක්කරන මෙවන් සමාජයක මෙවැනි කතිකාවතක් ගොඩ නැගීම ඉතාම ප්‍රශංසනීය වේ. නමුත් 2016 ගාලු සාහිත්‍ය උත්සවයන් ද්විත්ය සඳහා පමණක් මෙම ඉදිරිපත් කිරීම් සීමා නොවියයුතු බව මාගේ අදහසයි. සෑම තරුණ කොට්ටාශයක් වෙතම සමාජ තරාතිරමකම නියෝජනය වන වේදිකාවන් වෙත මෙම රංගනයන් රැගෙන යායුතුයි. මෙම පණිවිඩය රැගෙන යා යුතුයි.  මන්ද මෙවැනි ක්‍රියාවන් සියලුම තරාතිරම් වල පුද්ගලයන් අතින් සිදුවන බැවිනි.

සෑම මිනිස් ජීවිතයක්ම ගැහැණු පිරිමි භේදයකින් තොරව එක ලෙස ගරුකිරීමට ලක්විය යුතුය. දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂණය මිනිසාගේ දියුණුවට මිස පරිහානියට යොදා ගැනීම නොවිය යතුය යන්න සිතා බැලීමට මිනිසුන්ට යමක් දිය යුතුය. බැදීම හා  සම්බන්දතාවයන් හට වටිනාකමක් දීමට වැදගත්කමක් දීමට ඉගැන්විය යුතුය. පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිටම ලිංගික සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනය/ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව මිනිස් ජීවිත වල වටිනාකම් පිළිබඳව අප දරුවන් දැනුවත් කරන්නේ නම් මෙම තත්ත්වයන් අප හට අද අසන්නට දකින්නට ලැබෙන්නේ නැත. නමුත් පටු සාම්ප්‍රදායික අදහස් කරපින්නාගෙන යන මෙවන් සමාජයක අප වැඩිහිටියන් මේ පිළිබඳව තම දරුවන්ට කියාදීමට මැලිවෙති. ලජ්ජාශීලී වෙති. එම හේතූන් මත ඔවුන්ගේම දැරිවියන් මෙවැනි ක්‍රියා කරන්නන්න්ගේ ගොදුරක් බවට පත්වන්නේ ඔවුන්ට නොදැනීමය. මෙම තත්ත්වය වෙනස් විය යුතුය. පාසලේ සිටම මෙම අධ්‍යාපන ක්‍රමය ආරම්භ කල යුතුය. නමුත් මෙය සමාජගත කිරීමේ වගකීම අප හැමෝම සතු වගකීමක් බව අප සියලු දෙනාම සිහි තබාගත යුතුව ඇත. එය අප ප්‍රථම සමාජ ආයතනය වන පවුල දෙවනුව පාසල යන ස්ථාන වලින් පටන් ගත යුතුය. මන්ද දරුවන් වැඩිහිටියන් හෝ තරුණයන් / තරුණියන් ලෙස සමාජගතවීමට පෙර එම සමාජ ආයතනයන් හරහා සමාජයට පිනෙන නිසා එහි විශාල වගකීම පවුල හා පාසල යන සමාජ ආයටහන ද්විත්වයට පැවරෙයි. මිනිස් ජීවිත ගරු කරන සමාජයක් කරා ගමන් කිරීමට කාලය එළඹ ඇති බැවින් අපි සියලු දෙන අපගේ වගකීම් ඉටුකිරීමට පෙළගැසිය යුතු කාලය එළඹ ඇත. සිතිය යුතු කාලය එළඹ ඇත.

Leave your response!

Add your comment below, or trackback from your own site. You can also subscribe to these comments via RSS.

Be nice. Keep it clean. Stay on topic. No spam.

You can use these tags:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This is a Gravatar-enabled weblog. To get your own globally-recognized-avatar, please register at Gravatar.

*