Home » Guest Column

ලෝක ඒඩ්ස් දිනයෙන් සතියට පසු…

7 December 2015 Posted by No Comment

Test Today

පසුගිය නොවැම්බර් 20 වන දින බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු ආසියානු ශාන්තිකර කළාපීය ඒඩ්ස් පිළිබද සමුළුව (ICAAP) , ලෝක ඒඩ්ස් දිනය අත ලග තිබියෙදී දින රහිතව කල් දමනු ලැබීය. ඒ පිළිබද කිසිදු නිල තොරතුරක් අපට දවමත් දැනගන්නට ලැබී නොමැත. කෙසේ වුවත් මෙම සමුළුව සදහා වියදම් කළ මුදල් ප්‍රමාණය අති මහත්ය. ජාත්‍යන්තර වශයෙන් මෙවැනි සමුළුවක් පැවැත්වීම අත්දැකීම් බෙහා හදා ගැනීමට කදිම අවස්ථාවකි. නමුත් බෙදා හදා ගැනෙන තොරතුරු සහ අත්දැකීම් නැවත සිය රට බලා ගෙන එන්නේ අතලොස්සකි. ඒවා ඔස්සේ ක්‍රියාත්මක වන්නේ එයිනුත් කිහිප දෙනෙක් පමණි. මෙවැනි සමුළුවක් දින නොදන්වා කල් දැමුවහොත් එය නැවත පැවැත්වීම සැක සහිතය. එච්අයිවී වලට සම්බන්ධ ප්‍රජාවන් සහ එච්අයිවී ක්ෂේත්‍රයේ පරීක්ෂණ, අධ්‍යයන, වැඩසටහන් ක්‍රියාත්මක කරන්නන් සහ සේවා සපයන්නන් එකම වේදිකාවකට ගෙන එන මෙම සමුළුව කල් දැමීම මම දකින්නේ අපගේ සෞඛ්‍යයට ඇති අයිතිය කල් දැමීමක් වශයෙනි.

දෙසැම්බර් මස පළමුවන දිනට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය ආරම්භ වන්නේ 1988 වසරේදීය. එහි ප්‍රධාන අරමුණ වූයේ ඒඩ්ස් වලින් මිය ගිය පුද්ලයන් සිහි කිරීම සහ එච්අයිවී සමග ජීවත් වන සිදු වන පුද්ගලයන්ට සිදුවන කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම අවම කිරීමයි. සමාජය තුළ එච්අයිවී පිළිබද තවමත් නිවැරදි අවබෝධයක් නොමැති අතර විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ එච්අයිවී පිළිබද පවතින්නේ විශාල බියකි. පොදු සමාජය එච්අයිවී පිළිබද දක්වන බිය නිසා එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් කෙරෙහි ඇති කොන් කිරීම සහ වෙනස් කොට සැළකීමට ඉතා ඉහල මට්ටමක පවතී. එයට මූලික හේතුව වන්නේ එච්අයිවී සහ ඒඩ්ස් පිළිබද පවතින අඩු දැනුවත් භාවයයි. එම නිසා ලෝක ඒඩ්ස් දිනය අනුසමරණය කිරීමේ වැඩසටහන් තුළ ප්‍රධාන අංගයක් විය යුත්තේ නිවාරණය මෙන්ම කොන් කිරීම සහ වෙනස් කොට සැළකීම අවම කිරීම අරමුණු කර ගත් දැනුවත් කිරීම්ය.

එච්අයිවී සදහා ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබදව පොදු ජනයා තුළ දැනුමක් නොමැති තරම්ය. ඒ පිළිබද වූ කොන් කිරීම සහ වෙනස් කොට සැළකීම නිසා එච්අයිවී පරීක්ෂණයකට යොමු වීමට ද ඇත්තේ බියකි. එච්අයිවී පමණක් නොව ඕනෑම සෞඛ්‍ය තත්ත්වයක් කලින් හදුනා ගැනීම ප්‍රතාකාර වලට පහසුවක් වනවා සේම එම සෞඛ්‍ය තත්ත්වයට නතු වූ පුද්ගලයාගේ ධනාත්මක පැවැත්මටද එමගින් විශාල බලපෑමක් ඇති වේ. එම නිසා ලෝක ඒඩ්ස් දිනය අනුස්මරණය කිරීමේදී ඒඩ්ස් තත්ත්වයට පත් වීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය දැනුවත් භාවය ලබා දීම ඉතා වැදගත්ය. මන්ද, නූතන එච්අයිවී ප්‍රතිකාර මගින් පුද්ගලයෙකුගේ එච්අයිවී වෛරස ප්‍රමාණය ඉතාමත් පහළ මට්ටමක පවත්වා ගත හැකිය. ඒ මගින් එම පුද්ගලයාගේ ජීවිතයට වෛරසය මගින් හානියක් වීම වළක්වන අතර එච්අයිවී සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවද පහළ දමයි.

ලෝක ඒඩ්ස් දිනයේ ආරම්භක අරමුණක් වූ ඒඩ්ස් වලින් මිය ගිය පුද්ගලයන් සිහි කිරීම තව දුරටත් එහි මූඛ්‍ය පරමාර්ථය නොවිය යුතු බව මගේ අදහසයි. මරණය සිහි කිරීමට වඩා එය එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් සැමරීම සදහා මේ දිනය යොදා ගන්නවා නම් එය එච්අයිවී පිළිබද දැනුවත් භාවය ඉහළ දැමීමට මෙන්ම වෙනස් කොට සැළකීම සහ කොන් කිරීම අවම කිරීමටද උපකාරී වන බව මගේ හැගීමයි. එම නිසා ලෝක ඒඩ්ස් දිනය ලෝක එච්අයිවී දිනය ලෙස නම් කරනවානම් මම වඩාත් කැමැත්තෙමි. මන්ද, මගේ එච්අයිවී තත්ත්වය තව දුරටත් මාව මරණය කරා ගෙන යන්නේ නැත. එච්අයිවී යනු මරණය නොවේ. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව එය දියවැඩියාව වැනි නිදන්ගත රෝග තත්ත්වයකි.

එච්අයිවී පිළිබද පරණ තාලේ දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් ඔබ්බට යාමට කාලය එළඹ ඇති අතර ඒ සදහා සුදුදු වාතාවරණයක්ද වෛද්‍ය විද්‍යාව මගින් සකසා දී ඇත. බිය මූලික කර ගත් දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවට පරීක්ෂණ සහ ප්‍රතිකාර මූලික කර ගත් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම අපට අව දුරටත් කල් දමන්නට බැහැ. එච්අයිවී පරීක්ෂණයකට ඔබ තවමත් ලක් වූයේ නැත්තම් අදම පරීක්ෂණයක් සදහා යොමු වන්න. තමන්ගේ එච්අයිවී තත්ත්වය දැන ගැනීම තුළින් නිවාරණය සදහා ඔබට සහය විය හැකියි. වඩාත්ම වැදගත් දෙය වන්නේ ප්‍රතිකාර ලබා ගෙන ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි වීමයි.

පාලිත විජයබණ්ඩාර 

Leave your response!

Add your comment below, or trackback from your own site. You can also subscribe to these comments via RSS.

Be nice. Keep it clean. Stay on topic. No spam.

You can use these tags:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This is a Gravatar-enabled weblog. To get your own globally-recognized-avatar, please register at Gravatar.

*